Archive for the ‘සාමකාමී පෙළපාලියට කෲර ප්‍රහාර’ Category

ඇත්ත කිව්වේ කවුද ?
 
ධර්ගා නගරයේ සිදුවුණු මුස්ලිම් – සිංහල ගැටුම සිදුවුණු ආකාරය දැන් සමස්ත ජාතියම දනියි.
 
ඒ පිළිබඳ වීඩියෝ පට අන්තර්ජාලයේ දැක ගත හැක. බොදු සමුළුව අවසන් වී සෙනඟ සාමකාමිව පාර දිගේ විසිර යනවිට මුස්ලිම් පල්ලියට රැස් වී සිටි පිරිස ඉහළක සිට ගල් ප්‍රහාරයක් එල්ල කරන අයුරු එම වීඩියෝ පට වල ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ. එම පිරිසට පොලීසිය පහර දෙන්නේ ගල් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුය. පොලීසිය ප්‍රචණ්ඩව හැසිරුණු මුස්ලිම්වරුන්ට පහර දීමෙන් පසු ඔවුන් එයට ප්‍රතිචාර දක්වන්නේ පතිරාජගොඩ…ගමේ ගෙවල් ගිනි තැබීමෙනි. ප්‍රචණ්ඩ මුස්ලිම්වරුන් සහ පොලීසිය අතර ගැටුම යන අතරේ පතිරාජගොඩ ගම ගිනි ගෙන දුම පිට වන අයුරු ද වීඩියෝ පටවල දක්නට ලැබේ. ඒ අනුව අළුත්ගම නගරයේ මුස්ලිම් කඩ වලට පහර දෙන්නේ භික්ෂුන් වහන්සේලා ඇතුළු සාමකාමීව විසිර යන පිරිසට පහර දීම සහ පතිරාජගොඩ ගම ගිනි තැබීම යන සිදුවීම් දෙකටම පසුවය. වඩාත් පැහැදිලව පැවසුවොත් පොසොන් දා භික්ෂුන් වහන්සේ නමකට පහර දීම ද ඇතුළුව සිදුවීම් තුනකට පසුවය. නමුත් ලෝකය දන්නේ වෙනත් කතාවකි.
මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් නායකයින් පවසන්නේ ගැටුමක් ඇති වීමේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවා තිබිය දී ආණ්ඩුව බොදු බල සේනා විසින් සංවිධානය කළ රැස්වීම තහනම් නොකළ බවයි. එම ප්‍රකාශය පිළිබඳ හකීම් මහතා ලැජ්ජා විය යුතුය. නබිතුමාට අපහාස වන අයුරින් ඩෙන්මාර්ක් පුවත්පතක කාටුනයක් පළ වූ විට ලංකාවේ හර්තාල් කිරීමට හකීම් මහතාට පුළුවන. බ්‍රිතාන්‍යයේ වසන සල්මන් රුෂ්ඩි ලියූ “සාතන්ගේ කවි“ පොතෙන් ආගමට අපහාස වුණි යැයි කොළඹ උද්ඝෝෂණ පැවැත්වීමට හකීම් මහතාට පුළුවන. එමෙන්ම තස්ලිමා නස්රීන් බංගලිදේශයේ දී “ලැජ්ජා“ නමින් ලියූ පොතෙන් ආගමට නින්දා කෙරෙතියි කොළඹ පෙලපාලි යෑමට හකීම් මහතාට පුළුවන. නමුත් පොසොන් පෝ දා ධර්ගා නගරයේ දී භික්ෂුන් වහන්සේ නමකට පහරදීම සම්බන්ධයෙන් අළුත්ගම දී විරෝධය පළ කිරීමට බෞද්ධයින්ට නුපුළුවන.
පොලීසිය එම රැස්වීමට අවසර දුන්නේ අවේගශීලී වී සිටි බෞද්ධයින් සමනය කිරීමට මෙම රැස්වීම උපයෝගි වෙතැයි අපෙක්ෂාවෙනි. එම රැස්වීමේ දී කිසිම අයුරකින් කලබල නොවී තමන්ගේ නායකත්වය පිළිබඳ විශ්වාසය තබන මෙන් කීප අවස්ථාවකම ඉල්ලන ලදී. රැස්වීමේ දී මුස්ලිම්වරුන්ට පහර දීමට කිසිම අනුබලයක් ලබා නොදෙන ලදී. ඥාණසාර හිමියන් ද පැවසුවේ “මින් මතු භික්ෂුන් වහන්සේලාට පමණක් නොව සිංහලයෙකුට පහර දුන්නොත් අපි ඒ ගැන බලා ගන්නවා“ යනුවෙනි. පොලීසිය අපේක්ෂා කළ අයුරින්ම රැස්වීමෙන් සිදුවුණේ හැඟීම් බරව සිටි පිරිස පාලනය කිරීමයි. රැස්වීම අවසානයේ කිසිම මුස්ලිම්වරයෙකුට හෝ ඔවුන්ගේ දේපලකට පහර දීමක් සිදු නොවිණි. ඉහත දැක් වූ අයුරින් ගැටුම ඇරඹෙන්නේ සාමකාමිව විසිර ගිය පිරිසට මුස්ලිම්වරුන් පහර දීමෙනි. එයට වඩාත් බලපෑවේ මුස්ලිම් ප්‍රහාරයෙන් සිහසුන් වී ඇද වැටුණු භික්ෂුන් වහන්සේ මිය ගිය බවට ආරංචි වීමෙනි.
ගැටුම සිදු වූ දිනට පසු දින උදෑසනම මම එම ප්‍රදේශයට ගියෙමි. කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමට ද සහභාගි වුණෙමි. ඇති තතු දැන ගැනීමෙන් පසු එදින පස්වරු තුනට ජාතික හෙළ උරුමය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කරන ලදී. එම මාධ්‍ය හමුවේ දී ඇත්ත ඇති සැටියෙන් පැවසුවෙමි. නමුත් අවාසනාවකට එම හමුව මාධ්‍ය වාරණයකට ලක් කෙරිණි. එබැවින් ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට නොහැකි විය. එමෙන්ම ඇත්ත නොදැන කොළඹ සිට මාධ්‍ය හමු මගින් දේශපාලනය කරන මුස්ලිම් අන්තවාදි නායකයින්ට සමස්ත ලෝකයම නොමග යැවීමට හැකි විය.
මාධ්‍ය පැවසුවේ ජාතිවාදි කලබල ඇති විය හැකි බැවින් ආණ්ඩුව විසින් මෙම සැබෑ තොරතුරු වාරණය කිරීමට උපදෙස් දුන් බවයි. ඇත්තෙන්ම එය තකතීරු තීරණයකි. වෙසක් පෝ දින ශ්‍රී මහ බෝධිය දෙමළ ත්‍රස්තවාදින් විසින් ලෙයින් තෙත් කළ දිනයේ දීත් බෞද්ධයෝ සාමාන්‍ය දෙමළ ජනතාවට පහර නොදුන්හ. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන දළදා මාලිගාවට දෙමළ ත්‍රස්තවාදින් පහර දුන් අවස්ථාවේ ද බෞද්ධයෝ දෙමළ ජනතාවට පහර නොදුන්හ. එමෙන්ම අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා 31 නමක් කපා කොටා ඝාතනය කළ අවස්ථාවේ ද බෞද්ධයෝ දෙමළ ජනතාවට පහර නොදුන්හ. දෙමළ හෝ මුස්ලිම් ජනතාව බහුතරය වන ප්‍රදේශයකින් කිසිම දිනක සිංහල මන්ත්‍රිවරයෙකු බිහි වී නැත. නමුත් බාකිර් මාකර්, ඒ සී එස් හමීඩ්, එම් එච් මොහොමඩ්, මොහොමඩ් අබුසාලි සහ ඒ එච් එම් ෆවුසි වැනි මුස්ලිම් නායකයින් බිහි කලේ සිංහල ඡන්දදායකයින්ය. එවැනි පසුබිමක ඇත්ත පැවසීමෙන් බෞද්ධයින් කුපිත වෙතැයි සිතීමේ පදනම කුමක්ද?
ඇත්තෙන්ම ජනතාව කලබල වන්නේ ආණ්ඩුව ඇත්ත සඟවන විටය. ආණ්ඩුව විසින් සැබෑ තත්වය වාර්තා නොකරන විට කටකතා තටු ලැබී ඉගිලෙයි. ඒ කටකතා අනුව භික්ෂුන් වහන්සේලා තුන් නමක් පල්ලිය ඇතුළට ඇදගෙන ගොස් පහර දී මරා දමා ඇත. එමෙන්ම මුස්ලිම් පල්ලි තුනක් ගිනි තබා මුස්ලිම් තරුණයින් 11ක් කපා කොටා මරා දමා ඇත. මිය ගිය සිංහලයින් ගණන 18කි. මෙවැනි කට කතා වලට වලංගු බවක් ලැබුණේ ඇත්ත නිල වශයෙන් නිවේදනය කිරීමට ආණ්ඩුව අපොහොසත් වීමෙනි. ආණ්ඩුව ඇත්ත පැවසීමෙන් වැළකුණා පමණක් නොව මාධ්‍ය වාරණය හරහා ඇත්ත ලොව දැන ගැනීම ද අවුරා තබන ලදී.
ඉහත මාධ්‍ය වාරණයේ ප්‍රතිලාභ ලැබුණේ දෙමළ බෙදුම්වාදින්ට සහ මුස්ලිම් අන්තවාදින්ටයි. දෙමළ – සිංහල ගැටුමේ දී දෙමළ බෙදුම්වාදින්ට රාජ්‍ය සුළු ගණනක අනුකම්පාව හිමි වෙන විට බහුතරයක් රාජ්‍ය ඔවුන්ගේ කතාව ප්‍රතික්ෂේප කරන ලදී. විශේෂයෙන්ම දෙමළ ජනතාවට සිංහලයින්ගෙන් සිදුවන බවට ඔවුන් පැවසූ පීඩාවන් ලෝකයේ පිලි ගැනීමට ලක් නොවුණේ අතිශය බහුතරයක් දෙමළ ජනතාව සිංහලයින් අතර ජීවත් වන බැවිනි. එබැවින් සිංහලයින්ට දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව සමග ද ජීවත් විය නොහැකි බවට ප්‍රචාරය කිරීමෙන් දෙමළ මිථ්‍යාවට ද නැවුම් වටිනාකමක් ලැබේ. දෙමළ බෙදුම්වාදින් තිස් වසරක් පුරා ගොඩ නැගූ දැවැන්ත ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් ඇත. ඔවුන් එම ජාලය භාවිතා කලේ ධර්ගා නගර සිදුවීම හරහා ලංකාවේ කීර්තිය පළුදු කිරීමටයි. මුස්ලිම් අන්තවාදින්ට දෙමළ බෙදුම්වාදින්ට නොදෙවැනි මාධ්‍ය ජාලයක් ඇත. එය හරහා ඔවුන් ලෝකයට ප්‍රකාශ කලේ තමන්ට වාසි සහගත ලෙස විකෘති කළ කතාවකි. ඊට අනුව පෞද්ගලික ආරවුලක දී භික්ෂුවකට කළ පහර දීමට ප්‍රතිචාර වශයෙන් බෞද්ධයෝ පොලිස් ආරක්ෂාව ද ඇතිව මුස්ලිම්වරුන්ට පහර දී හතරක් මරා දැමූහ. ඉහත දැක් වූ පරිදි මෙම කතාව මුසාවක් වන අතර ඇත්තටම මිය ගියේ මුස්ලිම් ජාතිකයින් දෙදනෙකු පමණි.
මාධ්‍ය වාරණය හමුවේ බෞද්ධ නායකයින් ද දන්නේ ජාත්‍යන්තර මාධ්‍ය පවසන දේ පමණි. එබැවින් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයින් ද සමහර නායක භික්ෂුන් වහන්සේලා ද මුස්ලිම් අන්තවාදින් කපා දුන් පාර දිගේ ගොස් බොදු බල සේනාවට සහ බෞද්ධයින්ටම දොස් පැවරූහ.
ඉහත කරුණු දැක්වීමෙන් පෙනෙන්නේ ලංකාවේ කීර්තිය විනාශ කලේ වෙන කිසිවෙකු නොව මාධ්‍ය වාරණයක් සිදු කළ ආණ්ඩුවේ බලධාරින් බවයි. එක් අතකින් ඔව්හු ලංකාවේ කීර්තිය විනාශ කළහ. අනිත් අතින් 1983න් පසු කොටි ත්‍රස්තවාදින් සමූහ ඝාතන සියයකට අධික වතාවක් කරන විට අහිංසක දෙමළ ජනතාවට පහර නොදුන් සිංහලයින්ව සැක කිරීමෙන් ඔවුන්ට අපහාස කර ඇත. එබැවින් මෙම අමන තීන්දුව ගත් බලවතුන් හඳුනා ගැනීම ජාතියේ යහපතට හේතු වනු ඇත.
ධර්ගා නගරයේ සිදුවුණු ගැටුමට මුල් වූයේ මුස්ලිම් අන්තවාදින් පිරිසක් සැලසුම් සහගතව සිංහලයින්ට පහර දීම බැව් දැන් පැහැදිලිය. නමුත් බොදු සමුළුව තිබෙන දිනයේ දෙදහසකට අධික මෙම පිරිස රැස් කලේ කවුද? මෙම පිරිසට සංවිධානය වීමට පල්ලිය ලබා දුන්නේ කවුද? මේ පිරිස අතරින් සැබවින්ම පහර දුන්නේ කවුද? යන පැනයන්ට පිළිතුරු සොයා ගත යුතුය. එමෙන්ම මෙම ගැටුම විකෘති කරමින් ද බොරු සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරමින් ද මව්බිම අපකීර්තියට පත් කළ මුස්ලිම් අන්තවාදි නායකයින්ට එරෙහිව දැඩි දඬුවම් පැනවිය යුතුය.
මෙම ක්‍රියා මාර්ග ගැනීම සුව වෙමින් පවතින තුවාලයක් යළි පෑරීමක් වෙතැයි යමෙකුට තර්ක කළ හැක. නමුත් තුවාලයක් පවතින විට අප කළ යුත්තේ එය ප්ලාස්ටරයකින් වසා දැන් තුවාලයක් පේන්නේ නැතැයි සතුටු වීම නොවේ. එවිට එම තුවාලය පැසවා ඔඩු දුවනු ඇත. නැතිනම් වෙනත් තැනකින් ඊට වඩා දරුණු ලෙස මතු වනු ඇත. තුවාලය සනීප වීමට නම් කළ යුත්තේ කෙතරම් වේදනාවට පත් වුවත් තුවාලය පිරිසිදු කර විෂබීජ විනාශ කර බෙහෙත් ගැල්වීමයි. ධර්ගා නගරයේ සිදුවීම් යළි නොවීමට නම් කෙතරම් වේදනාකාරි වුවත් විෂබීජ විනාශ කිරීම කළ යුතුය.