Archive for the ‘කුඩු ජාවාරමට ට අල්ලාට/නබිට එරෙහි සේ පෙනී සිටීම’ Category

ලොකු සීයා කවුද? මැරුවේ කවුද?

මීට කලකට ඉහත රාගම ප්‍රදේශයේ කුප්‍රකට චරිතයක්‌ ජීවත් විය. ප්‍රදේශවාසීන් හේ හැඳින්වූයේ ලොකු සීයා ලෙසිනි. මෙකී ලොකු සීයාගේ නියම නම වූයේ මොහොමඩ් සාලි නියාස්‌ යන්නය. මොහොමඩ් සාලි ලොකු සීයා ලෙස ප්‍රකට වූයේද නිකම්ම නොවේ.ඔහුට ධනය බලය මෙන්ම තවත් බලවත් සබඳතා ද රැසක්‌ විය. එසේම අදත් පවතින රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස එදා කටයුතු කරනු ලැබුවේ ලොකු සීයාය. හේ සිය දේව බලය සමග බොහෝ දේ කළේය. දෙවි අනුහසින් අණවිණ, කොඩිවිණ කැපීය. ශාන්ති කර්මද කළේය. ඒවා “මැටි හට්‌ටියට මෝල් ගසෙන් ගැසුවා” සේ හරිටම හරි ගිය බවට ජනතාව අතරේ මතයක්‌ පැතිර ගොස්‌ තිබිණි.

ඒ ලොකු සීයා මිනිසුන් අතර ප්‍රකට චරිතයක්‌ වීමට එක්‌ අතකින් බලපෑ කරුණු කිහිපයක්‌ විය. එසේම මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් ලොකු සීයා යනු නම කී පමණින්ම ඕනෑම අයකුට හැඟී යන පරිදි මුස්‌ලිම් ජාතිකයෙකි. නමුත් හේ නබිතුමන් මෙන්ම කුරානයද අතහැර දැමූ දැඩි දේව භක්‌තියකු ලෙස පෙනී සිටියේය.

උතුරා ගලා යමින් තිබූ සිය දේව භක්‌තිය සමාජගත කිරීම හෙවත් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලොකු සීයා කළ කී දේ ද බොහෝය. එහිදී ඔහු හැම විටම පෙරමුණට ගනු ලැබුවේ රාගම දේවාලය සහ එහි වැඩ සිටි දෙවියන්ය. තමන් ප්‍රධාන කපු තනතුර දරන රාගම දේවාලය මුල් කර ගනිමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ තනිවම වැය කර වාර්ෂිකව මහා පෙරහැරක්‌ පැවැත්වීමට හේ කටයුතු කළේය.

මේ පෙරහැරට අලි ඇතුන් පමණක්‌ නොව නෙක විසිතුරු අංග එක්‌වූයේ තනිකරම ලොකු සීයාගේ වියදමිනි. පෙරහැර කාලයට රාගම ඇතුළු අවට ප්‍රදේශ සියල්ල එකම සැණකෙළියක සිරි ගත්තේය. ඒ සියලු වියදම්හි නියමුවා වූයේ මොහොමඩ් නියාස්‌ හෙවත් ලොකු සීයාය. තමන් එසේ පෙරහැරක්‌ පැවැතAවීමට කටයුතු කරනුයේ රාගම ප්‍රදේශයට හා ජනතාවට දෙවියන්ගේ ආශීර්වාදය ලබා දීමට බව ලොකු සීයා කීය.

ඔහු එසේ කියද්දී අලි ඇතුන්, කොඩි සේසත් සහ දේවාභරණ සහිත කරඬුද සමග වීදි සංචාරය කළ එකී පෙරහැර බලන්නට පැමිණි ජනතාව ලොකු සීයා තමන්ගේ වියදමින්ම පෙරහැර දාට පැවත්වූ දන්සලකින් බත් කටක්‌ද කා පෙරහැර බලා “හරෝ හරා” යෑයි කියමින් හඬ නැගූහ.

ජනතාව එසේ හඬ නගද්දී දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ ලොකු සීයා, දෙවියන් දේව ආභරණ පළඳා ජීවමාන ලෙස ප්‍රාදූර්භූත වූවාක්‌ මෙන් පෙනී සිටිමින් රත්තරන් කිලෝ එකක්‌ පමණ අතේ කරේ පැළඳ පෙරහැරේ ගියේය. එසේ ලොකු සීයා ජුවලරි සාප්පුවක්‌ සේ රත්තරන් පැළඳ පෙරහැරේ යන විට “හරෝ හරා” කියමින් සිටි ඇතැම් කටකැඩිච්ච වුන් ලොකු සීයාගේම දන්සලෙන් බත් කා හරෝ හරා වෙනුවට වචන මාරු කර “අරූ හොරා” යෑයි කියන්නටද විය.

එසේ කියූ රාගම මිනිසුන් පසු කලෙක ලොකු සීයා සම්බන්ධ කොට තවත් කතාවක්‌ද කියන්නට විය. රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වුවද ලොකු සීයා යනු ප්‍රකෝටිපතියකු බව ජනතාව වටහාගෙන සිටියේය. හේ ගත කළේ අධි සුඛෝපභෝගී ජීවිතයකි. ගමන් බිමන් ගියේ නවීන ප්‍රාඩෝ රථයකිනි.

ඔහු රාගම දේවාලයට පැමිණ සිටින මොහොතක කවුරුන් හෝ දේවාලයට ගියහොත් දෙවියන්ට පෙර දුටුවේ ලොකු සීයාවය. රාගම දේවාලයේ වැඩ විසූ දෙවියන්ගේ අතේ කරේ දේවාභරණ ලෙස තිබුණේ කවුරුන් විසින් හෝ දැමූ පවුම් කාලක හෝ භාගයක රන් මාලයක්‌ දෙකක්‌ සමග වූ පිත්තල, රිදී සහ රෝල්ඩ්ගෝල්ඩ් ආභරණ ගොන්නකි.

නමුත් ලොකු සීයා එසේ නොවීය. ඔහුගේ කරේ පවුම් තිහක රන් මාලයක්‌ සමග තවත් මාල හතර පහක්‌ම තිබිණ. එසේම ලොකු සීයාගේ අතේ තිබූ අත් පළඳනාවද පවුම් තිහක්‌ පමණ විශාල එකක්‌ විය. ලොකු සීයාටද රාගම මිනිසුන්ට මෙන්ම දෙඅතේ ඇඟිලි දහයක්‌ තිබිණ. නමුත් රාගම මිනිසුන්ගේ ඇඟිලි මෙන් නොව ඔහුගේ ඇඟිලි දහයෙන් හතර පහක්‌ම වූයේ රන් මුදු රැසකින් වැසී ගොස්‌ය.

දේවාලයට එන මිනිසුන් ඉදිරියේ ලොකු සීයා දෙවියන්ට වඩා දිලිසෙමින් කැපී පෙනුණේ මෙකී සුපිරි ජීවිතය නිසාය. ඒ සුඛෝපභෝගී ජීවිතය ලොකු සීයාට පමණක්‌ සීමා වූවක්‌ නොවිණි. ඔහුගේ පවුලේ සියල්ලන්ම ගත කළේ එවන් සුපිරි ජීවිතයකි. ඉතින් මේවා දුටු රාගම මිනිසුන් පසු කලෙක කියන්නට වූයේ ලොකු සීයා යනු රාගම දේවාලයේ දෙවියන්ට මුවා වී මත් කුඩු ජාවාරමේ යෙදෙන ජාත්‍යන්තර ඒජන්තයෙක්‌ වන බවකි.

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ මොහොමඩ් නියාස්‌ හෙවත් ලොකු සීයාට දේශපාලන සබඳතා රැසක්‌ද විය. ඔහු බොහෝ දේශපාලනඥයන් දැන හැඳින සිටියේය. එකී දේශපාලනඥයන් අතර මත් කුඩු නිසා ආත්මය කුඩු කර ගත් දෙතුන් දෙනකුද වූහ. ඇතැම් විට ඒ සියලු යථාර්ථයන් පිළිබඳ අවබෝධයක්‌ තිබූ රාගම මිනිසුන් ලොකු සීයාට කුඩුකාරයා යෑයි කීවාද විය හැකිය.

ඒ පිළිබඳ කිසිත් අපි නොදන්නෙමු. එහෙත් මොහොමඩ් නියාස්‌ හෙවත් ලොකු සීයා යනු දේවාලයක්‌ කරගෙන යමින් දේවියන්ට පුදන අතරේ කපු මහතකු ලෙස සුපිරි ජීවිතයක්‌ ගෙවූවකු බව පමණක්‌ අපි දන්නෙමු.

මෙසේ සුපිරි ජීවිතයක්‌ ගත කරමින් සිටි රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා හෙවත් ලොකු සීයාගේ හිස මත දේව කෝපයක්‌ පතිත වූවාක්‌ මෙන් ඉකුත් 2011 වසරේ ඔක්‌තෝබර් මස 27 වැනිදා හිටි හැටියේම සන්නද්ධ පාතාල කල්ලියක්‌ විසින් ඔහුව පැහැරගෙන යනු ලබන්නේ ලොකු සීයාගේ ජීවිත කතාව එසේ සුපිරි ලෙස ලියෑවෙමින් තිබියදීය.

එකී පැහැර ගැනීමේදී ලොකු සීයා පැමිණි ජීප් රථය පරීක්‍ෂා කළ සන්නද්ධ පාතාල කණ්‌ඩායම එහි තිබී පාර්සලයක්‌ද රැගෙන ගිය බව මේ පිළිබඳ පසුව සිදු කෙරුණු පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය විය. එම පාර්සලයේ වූයේ මොනවාදැයි අදටත් අබිරහසකි. නමුත් මත් කුඩු ජාවාරමේදී කුඩු ප්‍රවාහනය කෙරෙනුයේ පාර්සල් ලෙසින් බව මේ රටේ මිනිස්‌සු දැන සිටිති.

රාගම දේවාලයේ වැඩ අවසන් කළ ලොකු සීයා සිය ප්‍රාඩෝ ජීප් රථයෙන් නිවස බලා එමින් සිටියදී වත්තල කෙරවළපිටිය වැලිපාර ප්‍රදේශයේදී මඟ හරස්‌ කළ සන්නද්ධ පාතාල කල්ලිය ඔහුව පැහැරගෙන යනු ලැබීය. එසේ පැහැරගෙන ගිය මොහොමඩ් නියාස්‌ හෙවත් ලොකු සීයාගේ මළ සිරුර ඊට මාසයකට පමණ පසු සිරුර වටා එතුනු කටු කම්බි රෝලක්‌ද සමගින් අක්‌කරෙයිපත්තු මුහුදු වෙරළින් මතුවී තිබිණි.

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන අතරේ ධනයෙන් සහ බලයෙන් සමාජයේ ප්‍රකට චරිතයක්‌ ලෙස මතුවී සිටි ලොකු සීයාගේ කතාව මීට තෙවසරකට පමණ ඉහත නිමා වූයේ එසේය. මෙහිදී පැහැදිලිවම සිදු වූයේ ලොකු සීයා පැහැරගෙන ගිය පාතාල කල්ලියක්‌ ඔහුට බිහිසුණු මරණයක්‌ අත්කර දෙමින් මරා දැමීමය. එහෙත් එකී පාතාල ඝාතකයන් කවුරුන්ද යන්න අදටත් අබිරහසක්‌ව තිබෙන්නකි.

ඒ හමුවේ අද රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන ලොකු සීයාගේ පුත් පොඩි සීයා ඉකුත්දා අධිකරණය වෙත යමින් සිය පියාගේ ඝාතනයට සම්බන්ධ ඝාතකයන් අල්ලා දෙන ලෙස ආයාචනයක්‌ කළේය. එහිදී පොඩි සීයාගේ ඉල්ලීමට කන් දුන් අධිකරණය එකී ඝාතකයන් වහා අල්ලා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක්‌ද කරනු ලැබීය.

සැබවින්ම ලොකු සීයා මරා දැමූ ඝාතකයෝ කවරහුද? දැනුදු එය පොලිසියට විස¹ ගත නොහැකිව තිබෙන ගැටලුවකි. නමුත් ලොකු සීයා මරා දැමීම පැහැදිලි ලෙසම මිනී මැරුමක්‌ නිසා මේ පිළිබඳ යමක්‌ කතා කරන්නට අපට සිතිණි. එහිදී මුලින්ම කතා කළ යුතු මාතෘකාවක්‌ද ඇත. ඒ මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමේ ක්‍රමවේදය පිළිබඳවය.

අප දන්නා පරිදි මෙරට තුළ සිදුවන මත් කුඩු ජාවාරම යනු ලොව සෙසු රටවල සේම පාතාලය සමග එකිනෙක බද්ධ වී ක්‍රියාත්මක වන්නකි. ඊට සාධක ඕනෑ තරම් මත් කුඩු ජාවාරම පිළිබඳ විමර්ශනාත්මකව බැලීමේදී සොයා ගන්නට තිබේ. මෙකී පාතාල භාවිතාව නිසාම මත් කුඩු ජාවාරමේ යෙදෙන ඕනෑම රජෙකුට හිටි හැටියේ බිහිසුණු මරණයක්‌ අත් වීම යනු සාමාන්‍ය දෙයකි.

මන්ද එකී ජාවාරමේදී එකිනෙකා පරයා යැම ඕනෑම ජාවාරම්කරුවකුගේ සිහිනය වී තිබෙන නිසාය. සෑම ජාවාරම්කරුවකුගේම අභිප්‍රාය වන්නේ අනෙකා මරා දමා සියල්ල තමන් සතු කර ගැනීමය. අප ලොකු සීයාගේ ඝාතකයන් පිළිබඳ කතා කරන්නට ගොස්‌ මෙසේ මත්කුඩු ජාවාරම පිළිබඳ කරුණු දක්‌වන්නේ ලොකු සීයා කුඩු ජාවාරමෙකු යෑයි කියන්නට නොවේ.

ලොකු සීයා කුඩු රජකු යෑයි කියන්නට වූයේ රාගම මිනිසුන්ය. එසේත් නැතහොත් ලොකු සීයාට කුඩු කිරුළ පැළඳුවේ සමාජය විසින්ය. ඒ පිළිබඳ අපි කිසිත් නොදන්නෙමු. නමුත් ලොකු සීයාගේ ඝාතකයන් පිළිබඳ කතා කිරීමේදී අපට කුඩු ජාවාරම දෙසට යොමු වීමට සිදු වන්නේ ඔහුගේ පැහැර ගැනීම සිදු වූ 2011 වසරේ අවසන් භාගය වන විට මෙරට තුළ කුඩු රජවරුන් අතරේ බිහිසුණු පාතාල ගැටුමක්‌ නිර්මාණය වී තිබූ නිසාය.

එකී කුඩු යුද්ධය රට තුළ ඉස්‌මතු වන්නේ භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමගිනි. එය සිදු වූයේ කෙසේද? කලකට ඉහත කඩුවෙල පාතාලයේ රජ වී සිටියේ කඩුවෙල වසන්තය. නමුත් කරාටේ ධම්මික කඩුවෙල වසන්ත මරා දැමීමත් සමග කඩුවෙළ පමණක්‌ නොව මෙරට පාතාලයේ ඉහළම කෙරුමා බවට ඔහු පත් වූයේ කිසිදු තරගයකින් තොරව ය.

කරාටේ ධම්මිකට ඕනෑ තරම් දේශපාලන රැකවරණ තිබිණි. කොළඹ පමණක්‌ නොව ඇතැම් විට කුඩු ජාවාරම නිසා ආත්මය කුඩු කරගෙන සිටින පිට පළාත්වල දේශපාලනඥයෝ පවා කරාටේ ධම්මිකට රැකවරණ සැපයූහ. මෙකී රැකවරණ හමුවේ කරාටේ ධම්මික සිය පාතාල කෙරුම් සමග කුඩු ජාවාරමද සිත් සේ කරගෙන යනු ලැබුවේ කිසිවකුටත් පාලනය කළ නොහැකි අයුරිනි. එහිදී ඔහු පසුපස තවත් පාතාල කෙරුමෝ පිරිසක්‌ම වූහ.

2011 වසරේ ඔක්‌තෝබර් මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන ගැටුමක්‌ හේතුවෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කෙරෙනුයේ දේශපාලන රැකවරණ මැද කරාටේ ධම්මික ඇතුළු කුඩු ජාවාරමුන් කිහිප දෙනකු මෙසේ සිත්සේ කුඩු ජාවාරමෙන් රට වනසමින් සිටියදීය. දේශපාලන ඝාතනයක්‌ ලෙස සිදුවූ භාරතගේ මරණයත් සමග පාතාලයට ඇඟිලි දිගු වූයේ නිරායාශයෙනි.

මේ හමුවේ දේශපාලන ගැටුමක්‌ හේතුවෙන් සිදුවූ භාරත ලක්‍ෂමන් ඝාතනයේ උණුසුම යන්නටත් මත්තෙන් රට තුළ මහා පාතාල යුද්ධයක්‌ ආරම්භ වූයේ කිසිවකුත් නොසිතූ පරිදිය. ඒ හමුවේ මරණය කොයි මොහොතේ තමන් වෙත ළඟා වේදැයි බියෙන් සියලු පාතාලයන් සිටියේ සිත් තුළ රැඳුණු අවිනිශ්චිත බවකින් යුතුව ය.

මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක්‌ද ඇත. ඒ කරාටේ ධම්මික වැනි පාතාලයන්ට රැකවරණ සැපයූ කුඩු නිසා අදටත් ආත්මය වනසාගෙන සිටින දේශපාලනඥයන් අතරින් ඇතැමුන් මොහොමඩ් නියාස්‌ හෙවත් රාගම ලොකු සීයාගේද සමීප හිතවතුන් වී සිටි බවය. එය රටට රහසක්‌ නොවිනි.

නොසිතූ පරිදි ඇතිවූ පාතාල ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙස භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයෙන් දින කිහිපයක්‌ තුළ තවත් සන්නද්ධ පාතාල කල්ලියක්‌ කරාටේ ධම්මික පැහැරගෙන ගියේ මේ අතරතුරය. එසේ පැහැරගෙන ගිය කරාටේ ධම්මිකට සිදු වූ දෙයක්‌ අදටත් දැන ගැනීමට නැත. ධම්මිකගේ ඉරණම එසේ විසඳෙද්දී වෙනත්a පාතාල කල්ලි විවිධ අයුරින් සිය දඩයම් කරන්නට වූවේය. පෑලියගොඩ රජ කරගෙන සිටි කුඩු මෝර්වින්ලා අතුරුදන් විය. ඒද සන්නද්ධ පාතාල කල්ලියක්‌ සිදු කළ පැහැර ගැනීමක්‌ හමුවේය. එකී කාලය තුළ සිදු වූ දේ බොහෝ ය. පාතාලයේ රජ කළ පාතාලයන් අතරේ පාතාලය නිසාම භීෂණයක්‌ මතු වී තිබුණේ අරුම පුදුම ලෙසිනි. ඇතැම් පාතාලයෝ ජීවිත බේරා ගැනීම සඳහා පෙර වැරදිවලට අධිකරණ වෙත ඉදිරිපත් වී බන්ධනාගාරගත වන්නටද වූහ.

සන්නද්ධ පාතාල කල්ලියක්‌ රාගම ලොකු සීයාවද පැහැරගෙන යනු ලබන්නේ මෙකී පාතාල භීෂණය අතුරතුරදී ය. භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග ආරම්භ වූ පාතාල යුද්ධයේදී කරාටේ ධම්මික මෙන්ම ඇතැම් දේශපාලනඥයන් සෙවනේ හිඳිමින් පාතාලයේ කෙරුමන් ලෙස වැජඹී මත් කුඩු ජාවාරමෙන් රට වැනසූ බොහෝ වුන් මරණයට හෝ වෙනත් පාතාල කල්ලියක පැහැර ගැනීමට ලක්‌ වූයේ කිසිවක්‌ සිතා ගැනීමට පවා නොහැකි ලෙසිනි.

එසේ පැහැර ගැනීමට සහ මරණයට මුහුණ දුන් කරාටේ ධම්මික වැනි පාතාලයන් තවත් කල්ලියක ග්‍රහණයට මැදි වූ අවස්‌ථාවල ජීවිතය බේරා ගැනීම ඉදිරියේ කුමක්‌ කීවාද කෙසේ හැසිරුණාද යන්න කිසිවකුත් දැන නොසිටියේය.

මෙකී පාතාලයන්ට සෙවන දුන් ඇතැම් දේශපාලනඥයන් සමග රාගම ලොකු සීයාද සමීපව සිටි බව අපි කීවෙමු. එම දේශපාලනඥයන් සෙවනේ සිටි පාතාලයන් පාතාලයේම ප්‍රහාරයකින් මරණයට හෝ තවත් කල්ලියක පැහැර ගැනීමට ලක්‌ වෙද්දී එකී දේශපාලනඥයන් හා සබඳතා පැවත්වූ රාගම ලොකු සීයාද සන්නද්ධ කල්ලියක්‌ විසින් පැහැරගෙන යන්නේ පාතාලයේ ඉරණම් කතාව මෙලෙස මැනවින් සටහන් වෙමින් තිබියදීය.

රාගම ලොකු සීයා පැහැරගෙන ගොස්‌ මරා දැමීමේ සිද්ධිය පිළිබඳ පූර්ව අපර සන්ධි ගැලපීමේදී පෙනෙන්නට ඇති කතාව ඇත්තේ එතැනය. මේ හමුවේ රාගම ලොකු සීයා කුඩු ජාවරමෙකු යෑයි කියන්නට අපි ඉක්‌මන් නොවෙමු. ඉක්‌මන් නොවෙමු නොව අපි එසේ නොකියන්නෙමු.

නමුත් ඔහුව පැහැරගෙන ගොස්‌ මරා දැමෙන්නේ රට තුළ පාතාල කුඩු යුද්ධයක්‌ නිර්මාණය වී තිබියදී එහිම කොටසක්‌ ලෙස බව බැලූ බැල්ලමට පෙනී යන්නකි. මේ අනුව සිදුව ඇත්තේ ලොකු සීයා කුඩු රජකු වීම නිසා අතුරුදන් කිරීම නම් අවසන් වශයෙන් අප රටට කියන්නේ එසේ කළ පාතාලයන්ට බෝධි පූජාවක්‌ තබා සෙත් පැතිය යුතුය යන්න පමණි.

මන්ද මේ රට වනසන එක කුඩු රජකු හෝ මේ මොහොතේ වේවා වළපල්ලට යන්නේ නම් රට වෙනුවෙන් සිතා අප එය අනුමත කරන බැවිනි.

සමන් ගමගේ

http://www.divaina.com/2014/11/02/feature11.html